ඉදිරි අනාගතයේ එන අභියෝගයන්ට නොසැළී මුහුණ දීම සඳහා වත්මන් තාරුණ්‍යය රනිල් වික්‍රමසිංහ දර්ශනය සමගින් පෙරට ආ යුතු බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසුයේ අද (27) රාත්‍රියේ  ‘අනාගතය ඇරඹුණා’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද ජාතික තරුණ සැමරුමට එක්වෙමිනි. උත්සවය වීරවිල පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙහි පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා පැවසූයේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරුණ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන යුගයේ  තරුණ ප්‍රජාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන් වෙත ලබාදුන් පන්නරය අදටත් ඵලදායී සේවාවක් ඉටු කරන බවයි. ඉදිරියේ දී තව තවත් කර්මාන්ත පුර බිහිකරමින් තාරුණ්‍යයට ශක්තිමත් අඩිතාලමක් සැකසීම, විවිධ කර්මාන්ත ඔස්සේ රැකියා උත්පාදනය හා ඒ ඔස්සේ රටේ ශක්තිමත් ආර්ථිකමය වපසරියක් ඇතිකිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කරන බව එතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
 “මම පළමුවෙන්ම ස්තූතිවන්න වෙනවා මට මේ වගේ සතුටු විය හැකි අවස්ථාවකට ආරාධනා කිරීම පිළිබඳව. මේ රජය තරම් රජයක් මගේ ජීවිතයේ මම දැකලා නැහැ තාරුණ්‍යය සමග සම්බන්ධ වන. ඒකට උදාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවන්. නමුත් මේ යොවුන් පුරය තරම් උදාහරණයක් මම හිතන්නේ තවත් නැහැ. යොවුන් පුරයට සිව්දෙසින්ම  තරුණ තරුණයින් සහභාගී වෙනවා. දින 04 ක් මුළුල්ලේ විශාල කණ්ඩායමක් මෙතන ඉන්නවා වගේම පෙර ගමන් කණ්ඩායම් ඊට දින දහයකට දොළහකට කලින් ඇවිල්ලා මේ කඳවුර සකස් කරන්න පටන් ගන්නවා. නගර සභාවක් පත්කර ගන්නවා. පුරපතිවරයෙක් පත්කරගන්නවා. මන්ත්‍රීවරු පත්කරගන්නවා. ඔවුන් මේ කඳවුරේ වගකීම ගන්නවා. ඒ වගේම මේ තාරුණ්‍යය ආපු වෙලාවේ ඉඳන් මෙතන තමන්ගේ අත්දැකීම් ආරම්භ වෙනවා. ඒ අත්දැකීම් වලට එකතු වෙනවා විශේෂ වැඩසටහන්. තමන්ගේ දැනුම වර්ධනය වෙනවා. ඒ වගේම කණ්ඩායම් හැඟීම ඇතිවෙනවා. මේ හැමටම වඩා සංහිඳියාව කියන ඒ වැදගත් තැනට අපිට යන්න පුළුවන් වෙනවා.
පසුගිය වර්ෂයේ යොවුන් පුරයට සහභාගී  වුණ උතුරේ පුතෙක් දකුණේ දුවක් සමග විවාහ වුණා. සංහිඳියාවට ඊට වඩා උදාහරණයක් තවත් නැහැ. මේ දරුවෝ දින 04 ක් අවසන් වෙලා මෙතනින් යනකොට යන්නේ එක පවුලේ සහෝදර සහෝදරියෝ වගේ. දුක් වෙලා කඳුළු හලලා යන්නේ. ඒවත් බොහෝමයක් සතුටු කඳුළු. ඒ කඳුළු දකිද්දී කොයිතරම් මේ තාරුණ්‍යය තුළ ශක්තියක් තියෙනවද මේ රට දියුණු කරන්න කියලා මට හැඟෙනවා. ඒ වැඩ කටයුතු වලට නායකත්වය දෙන්න තාරුණ්‍යයට හැම වෙලාවෙම ඉඳලා තියෙනවා දාර්ශනිකයෙක්. 
එරංග වැලිඅංගේ සභාපතිතුමා දාර්ශනිකයෙක් ගැන කතා කළා. එතුමා තෝරගත්ත දාර්ශනිකයා ඕෂෝ කිව්වා. මමත් ඒ වගේම දාර්ශනිකයෙක්ව තෝරගෙන තියෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාට තරම් මේ රටේ දර්ශනයක් තිබිලා නැහැ මේ රටට දියුණුවක් ගෙනල්ලා දෙන්න, මේ රටේ තාරුණ්‍යයට කොන්ද කෙළින් තියාගෙන, තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් වාතාවරණය හදලා දෙන්න. එතුමා හැමදාම කටයුතු කරන්නේ එහෙමයි. අපි මුහුණ දීපු අභියෝග වලට නෙවෙයි දැන් කාලයේ තාරුණ්‍යය මුහුණ දෙන්නේ. එන්න එන්න තාරුණ්‍යයට තියෙන අභියෝග බහුලයි. එක පැත්තකින් ලෝකය දියුණු  වෙද්දී අපිත් රටක් වශයෙන් ඒ ගමන යද්දී , තාක්ෂණය අපේ ජීවිතයට ඇතුළු වෙද්දී එන අභියෝග විශාලයි. අපිට  ඉස්සරහට ඒකට දැඩි ලෙස  මුහුණ දෙන්න වෙයි. කෘතිම බුද්ධිය කියන එක ඉදිරියේදී අපේ ජීවිතවල හැම වෙලාවෙම ඇතුළු වෙන අවස්ථා තියෙයි. මේ තාරුණ්‍යය ඒකට අපි හැඩගස්වන්න ඕන. පාරම්පරික රැකියාවන් තියෙයි. ඒවා නැතිවෙන්නේ නැහැ. නමුත් ඒ වගේම මේ තාරුණ්‍යයෙන් විශාල කොටසක් අනාගතයට මුහුණ දෙන, තාක්ෂණයෙන් හෙබි තරුණ පිරිසක් වෙන්න වෙනවා. ඒ ගමන ගෙනියන්න වෙනත් කෙනෙක් නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැරුණුකොට.
එතුමා මීට වසර 40 කට පමණ පෙර තමයි යෞවන කටයුතු ඇමති විදියට කටයුතු කළේ. මම එදාත් එතුමා පිළිබඳව පාසල් යන ශිෂ්‍යයෙක් හැටියට, හැම වෙලාවෙම අනුගාමිකයෙක් හැටියට එතුමා ගැන හෙව්වා.  අද අවුරුදු 40 කට පස්සෙත් තාමත් එතුමා කාලෙන් කාලෙට ඒ තාරුණ්‍යය වෙනුවෙන් අලුත් වෙනවා. අලුත් වෙලා එතුමා මේ තාරුණ්‍යයට අනාගතයක් ඇතිකරන්න කටයුතු කරනවා. එතුමාගේ දර්ශනය එතුමා ක්‍රියාවට නංවා තිබෙනවා. එදා එතුමා හදපු, ගොඩනගපු මේ තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය, තමයි අදටත් මේ තරුණ අය වෙනුවෙන් ගම ඇතුළේ හැමවෙලාවෙම ක්‍රියාකරන්නේ. එතුමා හදපු විද්‍යා පීඨ ක්‍රමය තුළින් තමයි අදටත් මේ රටට ගුරුවරු බිහිකරන්නේ. එතුමා හදපු ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමයි අදටත් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන්නේ. එතුමා ගොඩනගපු යොවුන් සේනාංකයෙන් තමයි වෘත්තීය අධ්‍යාපනයක්, ඉල්ලුමට සරිලන වෘත්තිය අධ්‍යාපනයක් සහ විනයකින් පිරිපුන් තරුණ කොට්ඨාසයක් ගොඩනගන්නේ. අදත් එතුමා කටයුතු කරන්නේ අපි කොහොමද මේ තාරුණ්‍යය ඉදිරියට ගෙනයන්නේ කියලා. මේ තාරුණ්‍යයේ අනාගතය ශක්තිමත් කරන්නේ කියලා.
එතුමා එදා බියගම හැදුවා වගේ, කොග්ගල හැදුවා වගේ  අදත් එතුමා මහන්සි ගන්නේ හම්බන්තොට, ඉංගිරිය ආදී වශයෙන් අලුත් කර්මාන්තපුර ඇති කරන්න. ඒ කර්මාන්තපුර වල එදා ඇඟලුම් කර්මාන්තය මෙරටට ගෙන ආවා වගේ අද ඊට වඩා නූතන කර්මාන්ත මේ රටට ගේන්න. අපේ රටට තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් භාවිත කරලා මේ කලාපයේ රටවල් වලට අපනයනය කරන්න පුළුවන් නිෂ්පාදන මේ රටේ ඇති කරන්න. ඒකට අවශ්‍ය විදේශ ආයෝජන ගෙන්වාගන්න. හම්බන්තොට අපි සියලුම සැලසුම් සකස් කරගෙන ගිහින් තියෙනවා. පිළිවෙළකට අපි කරලා තියෙනවා. ඒ කර්මාන්ත පුරය සෙබානා ජුරන්ග් කියන සංගප්පූරුව ගොඩනගන්න අධ්‍යයනය කටයුතු කරලා සැලසුම් හදපු  ආයතනය සම්බන්ධ කරගෙන අපි මේ හම්බන්තොට කර්මාන්තපුරය සැලසුම් කරලා තියෙනවා. ඒක වටේ අලුත් නගරයක් සැලසුම් කරලා තියෙනවා.  අක්කර 11000 ක් අපි ඒ සඳහා සැලසුම් කරගෙන ගිහින් තියනවා. ඒ සැලැස්ම අනුව ගියාම කර්මාන්ත පුරය කොතනද, කොයි කර්මාන්තය ද, කොයි කොයි තැන්වල ද කර්මාන්තපුරය තියෙන්නේ, මොනවගේ කර්මාන්ත ද අපි ආකර්ෂණය කරගන්නේ, පරිසරයට හිතකර රැකියා බහුල වෙන ඒ වගේම විදේශ විනිමය අපිට වැඩිපුර ගෙනල්ලා දෙන්න පුළුවන් සහ අනික් පැත්තෙන් කොතනද නගරය එන්නේ,  කොතනද පාසල එන්නේ, කොතනද රෝහල එන්නේ, කොතනද ක්‍රීඩා පිට්ටනිය එන්නේ, කොතනද නිවාස ටික එන්නේ යනාදී වශයෙන් මේ හැම දෙයක්ම අපි ඒ තුළ සැලසුම් කරගෙන ගිහින් තියෙනවා.
ඒ වගේම බිංගිරිය එනවා, එතනින් එහාට අපි මේක උතුර – නැගෙනහිර ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කරගෙන යනවා. අනික් පැත්තෙන් එතුමා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඒ තුළින් Home Stay වැනි වැඩසටහන් තුළින් ගමට, ගමේ ඉන්න පොඩිම කෙනාටත් ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩසටහන් අරගෙන ඇවිත් තියෙනවා. තාරුණ්‍යයටත් ඒ තුළ හැම වෙලාවෙම අවස්ථාව දෙනවා. පුහුණ මධ්‍යස්ථාන ඇතිකරන්න විශේෂයෙන් එතුමාම ගොඩනගපු කුඩා ව්‍යාපාර අංශය තියෙන්නේ තරුණ කටයුතු අමාත්‍යාංශය තුළ. ඒ කුඩා ව්‍යාපාර අංශය අද අපි තවත් දියුණු කරගෙන යනවා. Enterprise Sri lanka කියන ණය වැඩසටහන තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු  වූ දරුවන්ට ලබාගන්න මග පෙන්වන්න ඒ කුඩා ව්‍යාපාර අංශය අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අද අපිට වැඩසටහනක් තියෙනවා. සැලැස්මක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරගන්න, ගෙනයන්න මේ තාරුණ්‍යයේ ශක්තිය, ආකල්ප ගොඩනගාගෙන ඉදිරියට යන තාරුණ්‍යයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මේ යොවුන් පුරයේ දී මම ඕනෑකමින් ඔබෙන් ඉල්ලන්නේ 8000 ක් දූලා පුතාලා මෙතනට එකතු වෙලා තිබෙනවා. මේකෙදි අපි ඒ සාකච්ඡාවන් ඇති කරගන්නවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මේ රටේ තාරුණ්‍යයට නායකත්වයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් හැටියට මෙතනින් එළියට බැහැලා යනකොට යන්න කියලා මම ඉල්ලනවා. අවසන් කරන්න පෙර මම ස්තූතිවන්ත වෙනවා විශේෂයෙන් ම තරුණ සේවා සභාවේ සභාපතිතුමාට. එතුමා මේ කටයුතු පසුගිය වසර 04 තුළ ඉතාම හොඳින් කරගෙන නැවතත් තරුණ සේවා සභාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වෙන අභිමානය, ගෞරවය, මගපෙන්වීම සහ ඒකෙන් පිටවෙන දරුවෝ රටට වැදගත්, අනගතය භාරගන්න පුළුවන් දරුවන් බවට පරිවර්තනය කරන්න කටයුතු කරගෙන ඇවිල්ලා තියෙනවා……” යැයි ද  අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.
මෙම අවස්ථාවට ධීවර සහ ජලය සම්පත් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  දිලීප් වෙදආරච්චි, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන කපිල ගමගේ සහ චතුර  ගලප්පත්ති, තංගල්ල නගර සභාවේ නගරාධිපතිතුමා, අනිකුත් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සභාපති එරංග වැලිඅංගේ, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වී සිටින නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්පතිතුමා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා ඇතුළු පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, තරුණ සේවා සභාවේ නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන් හා ලේකම්වරුන් සහ අනිකුත් රාජ්‍ය නිලධාරීන්, යෞවන සමාජ සම්මේලනයේ ලේකම් කෝෂිල කන්නන්ගර, යොවුන් පුරයේ පුරපතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ තාරුණ්‍යය නියෝජනය කරමින් තරුණ තරුණියන් වීශාල පිරිසක් සහභාගී වී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here