• මම වගකීමෙන් කියනවා අපි මොනම හේතුවකටවත් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.අපේ රටේ වු දේවල් සිද්ධි වලට අපේ රටේ නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න අපේ රටේ හොද අධිකරණයක් තියෙනවා

  • අද දේශපාලනය ඉස්සරහට දාගෙන වැරදි චිත්‍රයක් මවන්න හදනවා අපේ රටේ පරීක්ෂණ කෙරෙන්නේ විදේශ රටවලට ඕන විදිහට කියලා.එහෙම අපි ඉඩ දෙන්නේ නැහැ.

  • කවුරු මොන විදිහේ නැති දෙයක් මවන්න හැදුවත් අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න අද පුළුවන් වෙලා තියෙනවා

  • මත් ද්‍රව්‍ය නිසා සිරගතව වෙන අය බන්ධනාගාරගත වුණහම පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා

                            අමාත්‍ය තලතා අතුකෝරළ ජාතික සමථ දින උත්සවය අමතමින් පවසයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හි අද (2019.07.25) පැවති 2019 වසරේ ජාතික සමථ දින උත්සවය අමතමිනි.
තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
අද වන විට සමථ මණ්ඩල කටයුතු අපේ රට තුළ සාර්ථකව සිදු වෙනවා.පසුගිය වසරේ ඉල්ලීම් කිහිපයක් සමථ මණ්ඩලයේ ඔබගෙන් ආවා.ඒවා මේ අවුරුද්දේ ඉටු වෙයි.පසුගිය වසරේ අපි බලාපොරොත්තු වුනු නැති තත්වයටකට මුහුණ දෙන්න සිදු වුණා.දේශපාලන කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න සිදු වුණා.ඊට පස්සේ අපි වැඩ කර ගෙන යන කොට ආගමික කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න සිදු වුණා.ඒ සියල්ලට අපි රජයක් ලෙස මුහුණ දුන්නා.සමථ මණඩල සභිකයින් ලෙස ඔබ ඉතා විශිෂ්ට සේවයක් සිදු කරනවා.ඒ සේවය අපි හැමවිටම අගය කරනවා.අද වන විට අධිකරණවල නඩු හත් ලක්ෂ පනස් දහසක් අධිකරණවල විභාග වෙනවා ඒ සදහා විසදුම් ලබා දි ජනතා අසහනය අසාධාරණය පාලනයට උත්සාහ ගෙන තිබෙනවා.
ඔබ ලබා දෙන දායකත්වය නොමැති වුණා නම් හත් ලක්ෂ පනස් දහසක් වන නඩු ලක්ෂ 10 කටත් වඩා වැඩි වෙන්න ඉඩ තිබුණා.සමථ මණ්ඩල පිළිබදව විවිධ පැමිණිලි එනවා.ඒවා සමථ මණ්ඩල කොමිෂන් සභාව විසදනවා.ඒ අයගේ කටයුතු අද දේශපාලන බලපෑම් වලින් තොරව සිදු වන බව කිව යුතුයි.අපි ජීවත් වන විට තවත් මිනිසෙක් තවත් ජාතියක් තළා පෙලන්න හොද නැහැ.සාමකාමී පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට ඔබගේ දායකත්වය අත්‍යවශ්‍යයි.
යුරෝපා සංගමයේ යහපාලනය පිළිබදව නියෝජිත මහත්මා  ආසියානු පදනම අද මෙතන ඉන්නවා.ඒ අය අපට උදවු කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගෙන මේ රටේ ජනතාවට ජීවත් වෙන්නයි.අද සමාජයේ පිරිහීම කොතරම් ද කියනවා නම් පාසල් ලමයි ක්‍රිඩාවට ගියත් ගහ ගන්නවා.මේවාට විසදුමක් ලෙස පාසල් දරුවන් අතර සමථකරණය හදුන්වා දෙන වැඩ සටහනක් අපි ආරම්භ කරලා තියෙනවා.නීතිය පාසල් විෂය නිර්දේශය සදහා ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.වර්තමානය වන විට මත් ද්‍රව්‍ය උවදුර විශාල ප්‍රශ්නයක් ගැටළුවක් බවට පත් වෙලා තියෙනවා.ඒ උවදුරෙන් රට මුදවා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරන්න වෙලා .මේ මත් ද්‍රව්‍ය නිසා  සිරගතව වෙන අය බන්ධනාගාරගත වුණහම පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා.ඒ සදහාත් මුදල් අමාත්‍යතුමා අපිට අවශ්‍ය අනුග්‍රහය ලබා දී තිබෙනවා.හෙට අනිද්දා දඩ සම්බන්ධයෙන් පනතක් එනවා.මේ දඩ එදා ඉංග්‍රිසි ආණ්ඩුව පැවති සමයේ ඒවා තියෙන්නේ.මේ නව පනත ආවහම වැරදි කරන සංඛ්‍යාව තවත් අඩු වෙයි.ඒ වගේම පාසල්වල නීතිය උගන්වන්න පටන් ගත්තහම තවදුරටත් සමාජය යහපත් බවට පත් වෙයි.
කවුරු මොන විදිහේ නැති දෙයක් මවන්න හැදුවත් අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා.අපි ආවේ යහපාලනය උදා කරන්න අධිකරණයේ ස්වාධිනත්වය මානව හිමිකම් මාධ්‍ය නිදහස නැති කාලයක 2015 ජනවාරි 08 වැනිදා නව රජය බලයට ආවා.අපි මේවා ඇති කරලා එන කොට යුරෝපා සංගමය ආසියා පදනම වැනි අය අපට උදවු කළා.ඒ උදවු අපි ගන්නේ අපේ ස්වාධීනත්වය ඇතිවයි.අපි දියුණු වෙන රටක් ලෙස යුරෝපා සංගමය ආසියා පදනම අපිට උදවු කරනවා .ඒ වගේම මම වගකීමෙන් කියනවා අපි මොනම හේතුවකටවත් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.අපේ රටේ වු දේවල් සිද්ධි වලට අපේ රටේ නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න අපේ රටේ හොද අධිකරණයක් තියෙනවා.එහෙම හැකියාවක් අපිට තියෙනවා.අද දේශපාලනය ඉස්සරහට දාගෙන වැරදි චිත්‍රයක් මවන්න හදනවා අපේ රටේ මේ පරීක්ෂණ කෙරෙන්නේ විදේශ රටවලට ඕන විදිහට කියලා.එහෙම අපි ඉඩ දෙන්නේ නැහැ.මම වගකීමෙන් කියනවා.අපි රජයක් ලෙස ගොඩාක් ප්‍රශ්නවලට මිහුණ දුන්නා .නාය ගියා ගංවතුර ආවා.මේ හැම එකටම මුහුණ දෙන කොට බෝම්බ ගැහුවා.කුමන්ත්‍රණයක් ආවා.ඒ හැම දේකටම අපි මුහුණ දුන්නා.
මම කියන්න ඕන අපේ මහා සංඝ රත්නය විශාල දායකත්වයක් සමථ මණ්ඩල කටයුතු සදහා ලබා දෙනවා.අද අපේ රජය අපේ අගමැතිතුමාගේ නායකත්වය යටතේ දුෂ්කර විහාරස්ථාන නගා සිටුවන්න ලක්ෂ විසි හය දාහක මුදලක් ලබා දී තිබෙනවා.විදේශ රටවලින් ආධාර ලැබෙන කොට ඒ අය අපේ මේ වැඩ කටයුතු පිළිබදව සොයා බලනවා.ඒ ඇරෙන්න කාටවත් ඇවිල්ලා අපේ අධිකරණවලට ඇගිලි ගහන්න ඉඩ දෙන්නේ නැහැ.හැබැයි අපේ වැඩ කටයුතුවලට ඇගිලි ගහන්න දෙන්නේ නැහැ.මොකද සමහර අය මේ දිනවල වැරදි මතයක් ඇති කරන්න උත්සාහ කරනවා.
අපි දේශපාලන වෛරයකින් පළිගැනීමක් කරලා නැහැ.අපි මේ කරන්නේ රජයක් ලෙස වගකීම් ඉටු කිරීමයි.මම කියන්න ඕන සමථ මණ්ඩලවලට දේශපාලන බලපෑම් නැහැ.නීතියට එකගව කටයුතු කිරීමේ වටපිටාව ඇති කරලා තියෙනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.
සමථකරුවන් දැනුවත් කිරීම සදහා වු සමථකරණය පිළිබදව විශේෂ දේශනය මුදල් අමාත්‍යාංශයේ නීති අධ්‍යක්ෂ ඒ.කේ.ඩී.ඩී.අරන්දර මහතා විසින් සිදු කළ අතර ,අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු හෙක්ටර් එස් .යාපා ,අසියානු පදනමේ දිනේෂා වික්‍රමනායක ,සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් රාජනී අතපත්තු යන මහත්ම මහත්මීන්ද මෙහිදි අදහස් දැක්වීය.
මෙම අවස්ථාව සඳහා සමථ මණ්ඩල සභාපතිවරුන් සමථකරුවන් ඇතුළු 500 ක් පමණ පිරිසක් සහභාගි විය.
ජාතික සමථ දින සැමරුම රත්නපුර දිස්ත්‍රික් උත්සවය 2019.07.26 (හෙට)  අධිකරණ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කේතුමතී ශාලාවේදී පැවැත් වෙයි.
සමථකරණයේ ඉතිහාසය රාජාණ්ඩු යුගය දක්වා දිව යයි . රාජාණ්ඩු යුගය තුළ වරිග සබා මගින් සුළු ආරවුල් නිරාකරණය කර ඇති අතර ඉන් අනතුරුව ඉංග්‍රිසි පාලන සමයේදී ගම් සභා ක්‍රමය ස්ථාපිත කර ඇත.එම ගම් සභාව උසාවියක් බවට පත් කිරීම 1945 දී සිදු විය.
සුළු ආරවුල් නිරවුල් කිරීමත් උසාවි තදබදය අඩු කිරිමටත් වඩා සාධාරණ සේවාවක් ඉටු කිරීමත් පාදක කර ගෙන සමගි මණ්ඩල ආරම්භ කර තිබේ.පසුව 1977 දී වසර 19 ක් ක්‍රියාත්මක වු සමගි මණ්ඩල අහෝසි කර 1978 අංක 02 දරණ පවුල් උසාවි පිහිටුවා ඇත.
මේ සියලු ක්‍රමවේදයන්ගේ දුර්වලතා මග හැරීම සදහා 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් සමථ මණ්ඩල ක්‍රමය ස්ථාපිත කිරීම සිදු විය.
වර්තමානය වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි සමථ මණ්ඩල 332 ක් ස්ථාපිත කර ඇති අතර 1990 ජූලි 18 වන දිනෙන් ආරම්භව වසර 29 ක් පුරාවට සමථ මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වෙයි.
දෙපාර්ශ්වයක් අතර ඇති වන ආරවුලක් දුර දිග නොයා තෙවන පාර්ශ්වයක් මැදිහත් වීමෙන් සහ මන්ත්‍රණ ක්‍රියාවලියක් තුළින් නැවත එවන් ආරවුලක් ඇති නොවන මට්ටමට විද්‍යුනුකූල පදනමකින් නිරවුල් කිරීමකට එළඹීමට යොදා ගන්නා ඵලදායි ක්‍රමවේදයක් ලෙසින් සමථකරණය හැදින්විය හැකිය.
ප්‍රධාන සමථ උත්සවයට අමතරව ජූලි 18 වන දිනෙන් ආරම්භ වන සතිය පුරාවටම සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමථ මූල මණ්ඩල සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීම් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් බොහෝ රටවල ද ගැටුම් ආරවුල් විසදා ගැනීමට භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදය වන අධිකරණ ක්‍රමවේදය තුළ පුද්ගලයා මුහුණ දෙන අභියෝග අපහසුතා රැසකට විසදුමක් මෙන්ම ගැටුම් නිරාකරණයට ඇති එකම විසදුම උසාවි ක්‍රමය ලෙසින් සළකනු ලබන සාම්ප්‍රදායික මතයට විකල්පයක් ලෙසින් භාවිතා කළ හැකි කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමවේදයක් ලෙසින් සමථකරණය සමාජගත කිරිමට හැකියාව මෙම දැනුවත් කිරීම් තුළින් ලැබෙන බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.
අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් අධිකරණ වෙත ඉදිරිපත් වන සුළු ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම සමථ මණ්ඩල ස්ථාපිත කිරිමේ මුලික අරමුණ වෙයි.
සමථකරණ ක්‍රියාවලිය මගින් පාර්ශවයන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇති වන ආරවුල් විසදා ගැනීම සදහා තුන්වන පාර්ශ්වයක් ලෙස සමථකරු කටයුතු කරනු ලබයි.
සෑම වසරකදීම ලක්ෂ 3 කට ආසන්න ආරවුල් ප්‍රමාණයක් සමථ මණ්ඩල වෙත යොමු වන අතර ඉන් සියයට 60 කට වැඩි ප්‍රතිශතයක් සමථයකට පත් කරයි.
සමථ මණ්ඩල කොමිෂන් සභාවට වසර තුනක ධුර කාලයක් සදහා සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත සමථ මණ්ඩල කොමිෂන් සභාවක් පත් කරයි.
2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල් ) පනත යටතේ ඉඩම් ආරවුල් පිළිබද සමථ මණ්ඩල 05 ක් යාපනය අනුරාධපුරය ත්‍රිකුණාමලය මඩකලපුව හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කර තිබේ.
2005 වර්ෂයේදී පාසල් සමථ ඒකක පිහිටුවීමේ වැඩ සටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ආරම්භ කර ඇති අතර ඒ අනුව දිවයින පුරා පාසල් ගණනාවකම පාසල් සමථ ඒකක සක්‍රීයව ක්‍රියාත්මක වෙයි.
එමගින් පාසල් සිසුන් අතර ඇතිවන සුළු ආරවුල් නිරවුල් කිරීමක් සිදු වන අතර එය පාසලේ විනය මණ්ඩලයට මෙන්ම විදුහල්පතිවරුන්ට ද පහසුවක් බවට පත්ව තිබේ.
2018 වර්ෂයේදී ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩ සටහන යටතේ අපේ ආරවුල් අපිම විසදමු පාසල් සමථ ඒකක ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහන යටතේ දිවයින පුරා පාසල් 87 ක සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here