එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වහාම 30 දෙනෙකු පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන තිබු ක්‍රියාමාර්ගය හකුලා ගැනීමට මේවනවිට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ, එම මෙහෙයුම මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් එල්ලවී ඇති දැඩි විරෝධය හේතුවෙනි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ඇතුළු කිහිප දෙනෙකු විසින් සිදුකල රහසිගත මෙහෙයුමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් පසුගිය දින කිහිපයේ මාධ්‍ය හරහා වාර්තාවී තිබිණ.
කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිට පක්ෂපාති 30ක් පමණ අලුතින් නම් කිරීමටත් අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමටත් තීරණය කර ඇතැයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් !
මෙසේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් පත් කිරීමේ සූදානමක් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ‘නෙත් නිවුස්’ කළ විමසීමකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ම පවසා සිටියේ, එවැනි නව පත් කිරීම් සම්බන්ධයෙන් තමන්ට ද තොරතුරු දැන ගැනීමට ඇති බවයි.
කෙසේවෙතත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇති බව ‘නෙත් නිවුස්’ වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ‘නෙත් නිවුස්’කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි නව පත් කිරීමක් සිදු වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. 
‘නෙත් නිවුස්’ මේ සම්බන්ධයෙන් පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායකගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය වන කිසිවක් සිදු නොවන බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් පත් කරන බවට පළවන වාර්තා ද නිවැරදි නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here