මීගහකිවුල තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති තල්දෙන ධම්මවංස හිමියන් ඇතුළු කුඩා සාමණේර හිමිවරුන් පිරිසකට පන්සල් ගෙවත්තට යාබදව ගලාබසින බදුලු ඔය ඉවුරේ තිබී ජලයේ පාවෙන විශාල ගල් හමුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
හොදින් වැඩුණු විශාල කොස් ගෙඩියක් තරම් වූ මෙම ගල කබොක් ගලකට සමාන වන අතර කිලෝග්‍රෑම් 2ක් පමණ බරින් යුතු බවද විහාරාධිපති හිමියෝ පවසති.
ගලෙහි ප්‍රමාණයට සරිලන බරකින් යුක්ත නොවීම නිසා කුඩා සාමණේර හිමිවරු පිරිසක් ගල රැගෙන විහාරස්ථානය අසල පිහිටි පොකුණට දමා ඇති අතර එම ගල ජලය මත පා වෙන්නට පටන් ගෙන ඇත.
ජලයේ පාවෙන මෙම අපූරු ගල දැක බලා ගැනීම සඳහා ප්‍රදේශයේ දායක දායිකාවෝ අද (05) උදෑසන සිට විහාරස්ථානය වෙත පැමිණෙන්නට පටන් ගෙන ඇතැයි ද නායක හිමියෝ පැවසූහ.
මෙය කුමන වර්ගයේ ගලක් දැයි තමුන් හරිහැටි නොදන්නා නමුත් මෙහි කිසියම් අපූර්වත්වයක් ගැබ්වී ඇති බව තමුන්ට හැගී යන බවද ඒ සම්බන්ධයෙන්යෙන් කිසියම් පරීක්ෂණයක් සිදු කරන්නේ නම් ඊට සහාය දක්වන බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පවසයි.
තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය පිහිටි ස්ථානයේ මීට වසර දෙකකට පමණ පෙරද ඉමක් කොනක් නොපෙනෙන විශාල උමගක් මතු වූ බවත් විහාරසථානය පිහිටි ප්‍රදේශයේ අතීත රජ මාළිගාවක් තිබූ බව ජනප්‍රවාදවල සඳහන්ව ඇති බවත් විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේය.

(දෙරණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here