අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සාමාජිකයන් වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් බැවින් ඉදිරි මැතිවරණ වලදී එක්ව තරග කිරීමට ගැටළුවක් නොවන බවත්, මතභේදයට තුඩු දී ඇති පක්ෂ ලකුණ ගැටළුව සන්ධානගතවීමට බාධාවක් නොවනු ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.
ගාල්ල, ලබුදූව දක්ෂිණපායේ දී ඊයේ (12) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
රටේ වත්මන් දේශපාලන තත්වය හා ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයේ සූදානම පිළිබඳ විමසූ මාධ්‍යවේදීයෙකුට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ජනාධිපතිවරණය කැඳවීමට පෙර ඒ ගැන අනාවකි කීම  සුදුසු නොවන බවය.  එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයන් එකම කඳවුරක සාමාජිකයන් නිසා ඉදිරි මැතිවරණයක දි එක්ව තරග කිරීම ගැටළුවක් කර නොගත යුතු බවත්, ඉතා ආසන්න දිනකදීම පක්ෂ දෙක සන්ධානගත වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
එසේම තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්  වූ දා සිට මෙන්ම ඊට පෙර ද දකුණේ ජනතා ව්‍යාපෘතීන්වලදී බිම් මට්ටමේ සිටින පළාත් පාලන මන්ත්‍රීවරයාගේ පටන් පක්ෂ, පාට භේදයකින් තොරව සහයෝගයෙන් කටයුතු කළ බවත් හේමාල් ගුණසේකර මහතා පැවසුවේය.
මේ වන විට දකුණේ උපාධිධාරීන් 1265 කට ගුරු පත්වීම් ලබා දී ඇති බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට  පත් කිරීමට පෙර තවත් ගුරු පත්වීම් ප්‍රමාණයක් පුරප්පාඩු ඇති බවන පරිදි ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් දී ඇති බවත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා කියා සිටියේ ය.  දකුණු පළාත් සභාවේ මේ වනවිට මූල්‍ය ගැටළුවක් ඇත්දැයි මාධ්‍යවේදීයෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ යම් මූල්‍ය ගැටළුවක් පැවතිය ද එය මධ්‍යම රජය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට කටයුතු කරන බව ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here