තිස් එක් වසරක දුක් දෝමනස්සයන් අවසන් කරමින් ඈ නික්ම ගොසිනි. නික්ම යනවිට ඇගේ වයස අවුරුදු 78කට ආසන්න වුවද ගෙවුණු පසුගිය 31 අවුරුද්ද ඇයට කෙතරම් දීර්ඝ, කටුක එකක්දැයි දන්නේ ඈ මැ පමණි. 
1989 අගෝස්තු මස 28 වන දින සැබැවින්ම ඇගේ ජීවිතය නැවතුණු දිනය විය. එදිනෙන් පසු ඇගේ දෙවන පුතු “පද්ම හර්ෂ” ඇගේ දසුනින් මුවා විය. සැබැවින්ම ඔහුව ඇගේ දසුනින් මුවා කරළීය. 
තම ලේ කඳුළු කිරි කර පොවා උස් මහත් කළ පුතුණුවරුන් අහිමි කෙරුණු දස දහසකගේ දස දහසක් අම්මාවරුන් අතර ඈ ද එක අම්මා කෙනෙකු විය. තම පුතු පිළිබඳ හෝඩුවාවක් සොයා ඇය නොගිය හමුදා කඳවුරක්, පොලීසියක්, පුනරුත්ථාපන කඳවුරක් නොවීය. නොපෙනෙන දෙවියන් යදිමින් නොගිය පන්සලක්, කෝවිලක්, බෝ මැඬක් නොවිණ. 
නමින් කුසලන්ති සරත්චන්ද්‍ර වන ඈ අපට තවත් මනෝරාණි සරවනමුත්තු කෙනෙක්ම විය. 
“පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුළු මත රඳා සිට 
දුක් දෙයි නිබන්දා” 
මනෝරාණි අම්මා මෙන් වේදිකාවල සම්මුඛ සාකච්ඡාවල පත්තර පිටු අතර තම වේදනාව වචනවලට පෙරළූ කෙනෙක් නොවූව ද එවැනි අම්මාවරුන් දස දහසක් මහා මෙරක් බඳුවූ විප්පයෝගී වේදනාව හදවත රුවාගෙන නිහඬවම අන් දරුවන් උදෙසා ජීවත් වූ සාතිශය බහුතරයක් අම්මාවරුන්ගේ නියෝජනය ඇයම විය. 
සර්වෝදය ව්‍යාපාරය තුළ “කුසලක්කා” යන සුරතල් නාමයෙන් හැඳින්වුණු ඈ ලංකාවේ ගමින් ගමට සර්වෝදය ව්‍යාපාරය හරහා කරන ලද සේවය අති මහත්ය. කොළඹ ජීවත් වූ ඕ, කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති නායකයකු වූ මාතර, වල්පොල විමල් සමඟ විවා බන්ධනයේ යෙදුණේ කුලමල ගොත්වලට කම්මුල් පහරක් එල්ල කරමිනි. 1989 තරුණ නැගිටීමෙන් අනතුරුව පුනරුත්ථාපන කඳවුරුවල සිදුවූ විවාහ රාශියක දෙමාපියන් වූයේ කුසලා – විමල් දෙපළය. හර්ෂව සොයාගිය ගමනේදී පුනරුත්ථාපන කඳවුරුවල හමුවූ තරුණ දූ පුතුන්ට ඇය සැබැවින්ම මවක වූවාය. 
ගිලන් වැ, ඔත්පල වැ ලෙඩ ඇඳේ සිටියදී පවා ඈ බැලීමට ආ අනෙක් පුතුන්ට ඈ පැවසූයේ “හර්ෂ මත්තෙගොඩ ආමි කෑම්ප් එකේ ඉන්නවා කියලා ආරංචියි. විජහට ලෑස්තිවෙලා බලන්න යමු. නැත්තං වෙන කොහේ හරි ගෙනියන්න ඉඩ තියෙනවා. ඉක්මනට යමු” කියාය. 
ජීවත් වූයේ 2019 වර්ෂයේ වුව ඇගේ මතකය නතර වී තිබුණේ 1989 වර්ෂයේ ය. මේ අප දන්නා එක් අම්මා කෙනෙක් පමණි. ශ්‍රී ලංකාව තුළ දකුණේ මෙන්ම උතුරේත් එවන් අම්මාවරුන් කී දහසක් සිටිනවාදැයි අප මොහොතකටවත් සිතන්නේ නැත. 
හමුදා කඳවුරු, පොලිසි, පන්සල්, කෝවිල් ගාණේ සරණක් යදිමින් දෙපා ගෙවෙන තෙක් ඇවිද ගිය ඇගේ සිරුර ජාත්‍යන්තර කාන්තා දිනයේදීම ඒ වේදනාවන් සියල්ලෙන් අත්මිදුණාය. තම ජීවිතයේ එකම බලාපොරොත්තුව වූ සදාදරණීය පුතු සමඟ ඈ තිස් එක් වසකට පසු නැවත වෙන්ව නොයන ලෙස සදාකාලිකවම  එක් වූවාය. 
අප මව්පියන් දකින්නේ ඔවුන් ලොවට තිලිණ කළ දරුවන් තුළිනි. ඇගේ වැඩිමහල් පුතු අපගේ දයාබර ගමන් සගයෙකි. නමින් රුවන් ප්‍රදිපනන්දිස් ය. 
රුවන්ගේ අම්මා නික්ම ගිය පුවත සම්ප්‍රදායික අච්චුවේ ලියා ඈට නිවන් සුව පතනු වෙනුවට ජීවිතය පුරා තම පුතණුවෙක් වෙනුවෙන් ලොවින් සැඟවී ඈ විඳි දුක ලොවට කියන්නට අප උත්සුක වූයේ මේ හෙයිනි. අතුරුදන් වූ දිනයක් පමණක් ඇති පද්ම හර්ෂ ප්‍රදිපනන්දිස් පිළිබඳව ලෝකයට කියන්නට අම්මාගේ වෙන්ව යාම අපි අවස්ථාවක් කරගන්නෙමු.  රුවන්ගේ කාමරයේ එල්ලා ඇති පින්තූරයකට සීමාවූ හර්ෂගේ කතාව අප ලොවට කියන්නේ එහෙයිනි. 
කුසලන්ති සරත්චන්ද්‍ර නම් වූ ඈ අවසන් වරට පදිංචිව සිටි කඩුවෙල, කොරතොට, ගල්වරුසා පාරේ නිවසින් නික්මී හර්ෂ පුතු බලන්නට යන ඈව ඇරළවන්නට හෙට (09) ඔරුවල සුසානයට දන්න කියන අපි එක්වී ඇයට “සුබ ගමන් අම්මේ” කියමු ! 
lankanewsweb.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here