2015 දී අපට භාර දුන්නේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක්.

ඩොලරය ශක්තිමත්වීමට හොඳින්ම මුහුණදුන් රට ශ්‍රී ලංකාවයි.

ගම්පෙරළිය යටතේ ව්‍යාපෘති 33,875ක් දැන් ක්‍රියාත්මකයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ මේ වන විට නව ව්‍යාවසායකයන් 27,000කට ණය.

උතුරු මහ ඇමැති ආනයනය කරන්න ඉල්ලපු වාහනේටත් කැබිනට් අනුමැතිය හිමි වුණේ නෑ.

  • මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා

2015 වසරේ දී ආණ්ඩුවට ලැබුණේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. කඩා වැටුණු රාජ්‍ය ආදායමක් අපනයනයක් පමණක් නොව පහළ යමින් තිබූ ආර්ථික වර්ධන වේගයක් සමග භාර ගත් ආණ්ඩුව මේ වන විට සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් ශක්තිමත් වෙමින් පවතින බව හෙතෙම කියා සිටියි. අද (09) සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

1990 දී 20%ක් වුණ රටේ ආදායමට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2014 දී 11.4% දක්වා කඩා වැටුණා. ඒ වගේ ම තමයි රාජ්‍ය ආදායම වාර්ෂික වැඩිවීම 2006 දී 25.8% සිට 2015 දී 5.1% දක්වා කඩාගෙන වැටුණා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩි වුණා.

අද ආර්ථිකේ ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා මුදල් ඇමැති කාලේ 2012 දී මාස තුනක් තුල රුපියල 14%කින් අවප්‍රමාණය වුණා. ඒක වලක්වා ගන්න බිලියන 4.1ක් වියදම් කළා. අපනයන අඩපණ වුණේ එතුමගේ කාලේ. 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 33%ක්  වුණ අපනයනය 2014 වෙද්දි 14%ට බැස්සුවා.

අපි මේ අර්බුදය වෙනුවෙන් වැයකරල තියෙන්නේ ඩොලර් මිලියන 250ක් විතරයි. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ 10%කින් විතරයි. අපි තමයි මේ අර්බුදයට හොඳින්ම මුහුණ දීල තියෙන රට. පකිස්තානය, ඉන්දියාව වගේ රටවල් අපට වඩා අර්බුදවල ඉන්නේ.

ඉතිහාසයේ වැඩිම මුදලක් අපි ගම සංවර්ධනය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. මේ මොහොත වන විට ගම්පෙරළිය යටතේ ව්‍යාපෘති 33,875ක් ක්‍රියාත්මකයි. සෑම ගමකම කුමන හෝ සංවර්ධන කටයුත්තක් දෙකක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. නොවැම්බර් මාසය දක්වා වන මාස 4ට පමණක් රුපියල් බිලියන 20ක් ඒ වෙනුවෙන් වෙන් කරල තියෙනවා. 2019 අයවැයෙන් ගම්පෙරළියේ ඊළග පෙරළිය පටන් ගන්නවා.

මේ වන විට අලුත් ම ව්‍යවසායකන් 26,978කට මේ ණය පහසුකම් ලබා දීල ඉවරයි. රුපියල් බිලියන 5.4ක මුදලක් ලබා දීල තියෙනවා ඔවුන් වෙනුවෙන්. මේ සියල්ල හමුවේ මේ වසර අවසන් වෙද්දි 4%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන්නට හැකි වෙයි කියල අපේක්ෂා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here